බුද්ධ ශාසනයක වැඩිපුරම නිර්වානය අවබෝධ කර ඇත්තේ දෙවිවරුන්ය. මේ නිසා දිව්‍ය සැප විඳින අතරතුර මාර්ගඵල ලබන්න ඔබටත් හැකියාව තිබේ. කෙනෙකුට තම සසර ගමන කෙබදු විය යුතුද යන්න සිතගි පරිදි සැලසුම් කර ක්‍රියාත්මක කර ගැනීමේ දුර්ලභ අවස්ථාවක් අද ඔබට ලැබී තිබේ.

මීට වඩා හොඳ තැනකට යන්න සසර සැලසුම් කරන්න.

දෙව්ලොව දී නිවන් දකින සසර සැලසුම් කරමු

බුද්ධ ශාසනයක වැඩිපුරම නිර්වානය අවබෝධ කර ඇත්තේ දෙවියන් විසින්ය. මේ නිසා දිව්‍ය සැප විඳින අතරතුර මාර්ගඵල ලබන්න හැකියාවක් තිබෙන බව ප්‍රත්‍යක්ෂයි. මේ නිසා ඔබටත් සැප සහිත පසුබිමක සිට නිර්වානය අවබෝධ කරන්න හැකියාව තියෙනවා.


බුද්ධ දේශනාවන් සිදු වූ සෑම අවස්ථාවකදීම දෙවියන් ධර්මාවබෝධය ලැබූ ප්‍රමාණය අතිමහත්ය. සැප සහිතව ඔවුන් ධර්මාවබෝධය ලබන්නට තරම් පුණ්‍යවන්ත වී තිබේ.

මේ නිසා මෙම ධර්මදේශනා වචනයෙන් වචනය හොඳින් සවන් දෙන්න. සැළකිල්ලෙන් අදහස් විස්තර තේරුම් ගන්න. එයින් ඔබට ඔබේ ඉදිරි සුගති ගමන සැලසුම් කරගන්න හැකි වේවි.


මේ හැම වචනයකම අර්ථය යතාර්ථවාදී සත්‍යයට සාක්ෂියක් බව වටහාගන්න. නුවන ඇත්තෝ, ශ්‍රද්ධාව ඇත්තෝ, පින් ඇත්තෝ මේ මඟ ගොස් සැප ලබන බව ඒකාන්තයි.





දෙවියන් අතර ඉපිද ධර්මය ඇසීමටත්, මාර්ගඵල ලැබීමේත් හැකියාව ඔබටත් තියෙනවා. 


නමුත් බුද්ධ දේශනාවන්ට අනුව මේ සඳහා භාග්‍ය නොලැබීමට හේතුවෙන අයත් ඉන්නවා. ඒ අය නම්, මේ මනුලොව ඇති අති භයානකම පාපකර්මයන් සිදු කළ අයයි.


මිත්‍යා දෘෂ්ඨිය

ආනන්තරිය පාපකර්ම පහ


මේ ජීවිතයේ දී නම් ඔබ මේ පාපකර්ම කරල නැතිව ඇති. නමුත් ඉදිරියේ දී හෝ මතු ආත්මයක දී හෝ මේ පාපකර්ම ඔබ අතින් සිදුවිය හැකියි. එවන් පාපකර්මයක් සිදු කළහොත් ඔබ සතර අපා ගත වීම අනිවාර්යි.


එපමණක් නොව ඔබ මේ ජීවිත කාලය පුරා සිදු කරන ලද ප්‍රාණ ඝාතන, සොරකම් කිරීම්,  බොරු කීම්, වැරදි කාමසේවන, සුරා පානය ආදී ක්‍රියාවන් නිසා රැස්කරන ලද පව් පමණක් නොව පෙර ආත්මයන් වල දී සිදු කරන ලද එවන් පාප කර්මයන් නිසා එකතු වූ අකුසල කර්ම කොතෙකුත් ඇති.


නමුත් පෙර ආත්මයන් වල දී සිදු කරන ලද පාප කර්මයන් අභිබවන්න පින්වන්ත වූ ඔබ මනුලොව ඉපදී තිබේ. එසේ වූයේ පෙර ආත්මයන්වල දී සිදු කරන ලද පාපකර්ම අභිබවා මනුලොව ඉපදීමට තරම් ඔබ පින් කර පුණ්‍යවන්තයෙක් වී තිබීම නිසයි.




එසේනම් දැන්, පෙර ආත්මයන් වල දී සිදු කරන ලද සහ මේ ආත්මයේ දී සිදු කර ඇති, තවදුරටත් වර්ථමානයේ සිදුවිය හැකි පාප කර්ම අභිබවන්න පින්වන්ත වී දෙව් ලොව ඉපදීමට ඔබ උත්සාහවත් විය යුතුයි.


ඔබ අතින් මිත්‍යා දෘෂ්ඨිය, ආනන්තරිය පාපකර්ම පහ සිදු නොවී මේ බුද්ධෝත්පත්ති කාලයේ සිදු කරන විවිධ පින්කම්වලින් කිසිදු අපහසුතාවයක් නැතිව දෙවියන් අතරට යන්න හැකියාව හොඳින්ම තියෙනවා. අප්‍රමාන වූ පින් කළ හැකි වෙන්නේ බුද්ධෝත්පත්ති කාලයේ දී පමණයි.




බුද්ධ ශාසනයක කරන පින් දහම් මහත්ඵල මහානිසංස ගෙන දෙනවා. එසේම බුද්ධ ශාසනයක පින් කිරීමට ලැබීම අති දුර්ලභයි. ඒ අති දුර්ලභ අවස්ථාව ඔබට ලැබී තිබේ. නිකරුණේ කාලෙ නාස්ති නොකර අප්‍රමාදව සිල් රකින්න, පින් කරන්න, සුගතිය ප්‍රාර්ථනා කරන්න.

--------------------------------

ඔබ ඔබේ සසර ගමන නියමාකාරයෙන් සැලසුම් නොකලහොත්, අප්‍රමාදව සිල් රකින්න, පින් කරන්න උත්සාහවත් නොවුනොත් මරණින් පසු ඔබ නැවත උපදින ස්ථානය පිනක්වත් අනුමෝදන් වෙන්නවත් බැරි ඉතා දුර ඈත සක්වලක දුක්ඛිත තැනක විය හැකියි.






ඔබ කොහේ ඉදන් මනුලොවට ආවද? අවේ ඇයි..?


ඔබ මනුලොවට අවේ මෙහි ඇති වටිනාම දේ සොයා දැනගෙන එහි මනාව පිහිටා නැවත ආපසු දෙව් ලොව යෑමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට බව වටහා ගන්න.


මනුලොව ඉහළම සැපය වූ සක්විති සැපය කියන්නේ පොඩි ගල් කැටයක් වගේ නම් දෙව්ලොව තිබෙන දෙව් සැපය හිමාල පර්වතය වගේ අතිමහත් වූ සැපයකි.


මනුලොවට ආ දෙව් දුවක් මනුලොව දී නිරන්තරයෙන් කරන ලද ප්‍රාර්ථනාවත් කරන ලද පින්කම් නිසාත් ඇගේ සිල් රැකීමත් හේතුවෙන් ඇය නැවත දෙව් ලොව යන්නේ පිනත් සීලයත් ප්‍රාර්ථනාවත් නිසා බව පැහැදිළියි


ඔබට අමතක ඔබ මනුලොව පැමිණි කාර්ය යළි සිහියට ගෙන යුහුසුළුව අවශ්‍ය කටයුතු කර යළි සුගතියටම යන්න. දෙව්ලොවින් චුතවන දෙවියන්ට මනුලොව සුගතිය සේම මනුලොව මිනිසාට දෙව්ලොව මහත් වූ සැපයක් ගෙන දෙන සුගතියකි. නුවන ඇති මිනිසුන් දෙව් ලොව සැපය නිවන් දකිනතුරා වින්දනය කරයි.




ඒ සඳහා මනා ශ්‍රද්ධාවෙන්, නුවනින් යුතුව සිල් රැකීමට සහ පින් කිරීම සඳහා ඔබටත් සම්බුද්ධ ශාසනයක් ඇති මේ අති දුර්ලභ අවස්ථාව ලැබී තියෙන්නේ ඔබේ වාසනාවටයි.


සැහැල්ලු ජීවිතය ඔබේ සුගති ගමන පහසුකරයි. විවේකය සිල් රැකීමට සහ පින් කිරීම සඳහා ඔබට වැඩි අවස්ථාවක්, කාලයක් ලබා දෙයි.

 



ඇයි අප දෙව්ලොව යන්නේ....?


මනුලොව පංචකාමයට ඇලීම මෙලොව ස්වල්ප සැපයකටත්, මද ආස්වාදයකට සහ පරලොව සතර අපායේ මහා දුකකට ද හේතු වේ. අද බොහෝදෙනෙක්  පංචකාමයට ඇලී වල්මත් වී දුගතියට මග සාදා ගනිමින් සිටී.



ඔබ ඔබේ වයස අනුව අතීතය ආවර්ජනය කර විවිධ වයස් සීමාවන්වල දී ඔබ විසින් සිදුකරන ලද පාප කර්ම සහ විඳින ලද විවිධ දුක් කරදර, ඇනුම් බැනුම්, විවිධ අපහසුතාවයට පත්වීම් සිහිකර බලන්න.


පාසල් කාලෙදි


උසස් අධ්‍යාපනයේ දී


රැකියාවෙදි


ගෘහ ජීවිතයේදි


මේ ආකාරයට තමන්ගේ ජීවිත කාලය පුරාවට අතීතයේ සිදු වූ විවිධ වැරදි යළි යළිත් සිදු කරමින් අපාගත වීමටත්, තමන්ගේ ජීවිත කාලය පුරාවට අතීතයේ විඳින ලද අනේකවිධ දුක් කම්කටොලු යළි යළිත් අත් විඳින්නත් ඔබ කැමතිද?


එසේම මෙතෙක් ජීවිතකාලය පුරා ඔබ විඳි ලෙඩ දුක්, කරදර, අනතුරු, විපත්, වියෝදුක් ආදිය තවදුරටත් මේ මනුලොව දී විඳින්න ඔබ කැමතිද?


මේ අතර සතුරන් ඔබට කොතෙකුත් කරදර, හිරිහැර, පිඩා සිදු කරන්න ඇති.


නමුත් මේ සියළු දේ අත් හැර එයින් මිදී නිවන් දකිනතුරු දෙව් සැප විඳින්න ඔබ තව දුරටත් අකැමතිද?

 

 

 

එසේනම් දෙව් ලොව ගියොත්...?


ඔබට අනාගත මනුලොව භයානක විපත්වලින් බේරෙන්න හැකි වෙනවා.


ඔබ අතින් මනුලොව දී සිදු විය හැකි බොහෝ අකුසලයන්ගෙන් වැලකෙනවා. විශේෂයෙන් ආනන්තරිය පාපකර්ම පහෙන් සහ මිත්‍යා දෘෂ්ඨියෙන් ගැලවෙන්න හැකි වෙනවා.


දෙව්, බ්‍රහ්ම සැප විඳින අතර මාර්ගඵල ලබන්නත් හැකි බව ඔබ දන්නවද?

බුද්ධ ශාසනයක වැඩිපුරම නිර්වානය අවබෝධ කර ඇත්තේ දෙවියන් බව දැනටමත් ඔබ දන්නවා. 


දෙව් ලොව දී මාර්ගඵල ලබන්න හැකි බව අප ගෞතම බුදුන්වහන්සේත්, මුගලන් මහ රහතන් වහන්සේත් දේශනා කර තියෙනවා.


සක්විති රජකම පරයා දෙව් ලොව දෙව් සැප විඳින්න නම් අවශ්‍ය දේ අද අදම හරිහම්බ කරගන්න උත්සහවත් විය යුතුයි. දෙව් සැප පුණ්‍ය නිධානයක් බව දැන ගන්න. එය නිම නොවන පුණ්‍ය නිධානයක් කරගන්න නිවැරදිව සැලසුම් කරගන්න පුළුවන්. 


ඇත්තටම දෙව්ලොව ගිය බවට සාධක තිබේද? ඔව්, සම්මාදිට්ඨික වී සිදුකරන ලද පින්කම් නිසා ගණනින් කිව නොහැකි තරම් අති විශාල ප්‍රමාණයක් දෙව් සැප විඳින බව  සත්‍යයකි.


මේ නිසා සම්මාදිට්ඨික වීම මොනතරම් වාසනාවක්ද...? ඒක හැමෝටම ලැබෙන අවස්ථාවක් නෙවෙයි.



එසේනම් නිවන් දකිනතුරු දෙව් සැප විඳින්න සසර සැලසුම් කර ක්‍රියාවට නංවන්න. ඒක අපහසු නෑ. අවශ්‍ය ඔබේ උනන්දුව පමණි.


පෙර භවය දකින දරුවෙකුගේ දෙව්ලොව විස්තර කරන පුනරුප්පත්ති කතාව අසා බලන්න.




සසර සැලසුම් කරගන්න


කෙනෙකුට තම සසර ගමන නිවන් දකිනතුරු කෙබදු විය යුතුද යන්න සිතගි පරිදි සැලසුම් කර ක්‍රියාත්මක කර ගැනීමේ දුර්ලභ අවස්ථාවක් ඔබට උදා වී තිබෙන බව ඔබ දැනගන්න තරම් ඔබ වාසනාවන්තයි. ඔබම කල්පනා කර බලන්න මේ පින ඇත්තේ ලෝක ජනගහනයෙන් මොනතරම් සුළු පිරිසකටද කියල.


දැන් ඔබටත් පුළුවන් වසර හැට හැත්තෑවක් ජීවත්වෙන මේ මනුලොව ජීවිතය, කියා නිමකරන්න බැරි සැපයක් වෙනුවෙන් ආයෝජනය කරන්න. ඔබට ලැබුන මේ දුර්ලභ අවස්ථාව ප්‍රමාද නොවී ප්‍රයෝජනයට ගන්න. ඔබේ දිවියේ ඉතිරි වී ඇති කෙටි කාලයෙන් උපරිම අවස්ථාව ඒ සඳහා යොදා ගන්න.


සම්බුද්ධ ශාසනයක් පවතින අවස්ථාවක දී පමණක් ලැබෙන මෙම අති දුර්ලභ අවස්ථාවෙන් වහ වහා ප්‍රයෝජන ගන්න හැකියාව ඇත්තේ අප්‍රමාද වෙන අයටයි. ඒ නිසා ප්‍රමාද වෙන්න එපා.

 

ඒ වගේම ඔබට අවශ්‍ය උතුම්ම දේ ලබා ගන්න ඇති මේ දුර්ලභ අවස්ථාව මගහැර ගන්න එපා.




 

දිව්‍ය සැප විඳින සැලසුම් ක්‍රියාත්මක කරමු


ධර්මය මනාව දැනගෙන කර්මය, කර්ම ඵලය තේරුම්ගෙන අකුසලයෙන් වැලකී කුසලයේ යෙදෙන්න. එහෙම වුනොත් ඔබට මරණය ගැන භයක් ඇති නොවේ. ඔබ දන්නවා ඔබේ මරණයත් සමඟ ඔබ යන්නේ කොහේද කියල... අද අදම ඔබේ හිත සුගතියේ (දිව්‍ය ලෝකයේ) පිහිටවා ගන්න.


එහි දී බොහෝ මාර්ඵල ලාභී දෙවිවරුන් වගේ නිවන් දකින තුරා ඔබටත් සැප විඳිමින් සතුටු සිතින් නිර්වාණය කරා ගමන් කළ හැකියි.





  

 සසර දිනන ප්‍රාර්ථනාව


මේ සඳහා අවශ්‍ය සම්පූර්ණ ජවය ලැබෙන්නේ සම්බුද්ධ ශාසනයක සිදු කරන සිල් රැකීමෙන් සහ පින් රැස් කිරීමෙන් ලබන මහා බලය මත පිහිටා සිදු කරන නිවැරදි ප්‍රාර්ථනාවන් ය.




දැනගන්න මේ ක්‍රමයට කළොත් ප්‍රාර්ථනාවක් ඒක විපාක දෙනවාමයි.



ඒ වගේම සම්මාදිට්ඨික වීම සහ සම්මාදිට්ඨික වී ප්‍රාර්ථනාවන් සිදු කිරීමෙන් ඒ ප්‍රාර්ථනාව ක්‍රියාත්මක වෙන්නේ එහෙම නැතිනම් විපාක දෙන්නේ මහත්ඵල මහානිසංස ලෙසයි.

නමුත් ඔබ කරන වැරදි ප්‍රාර්ථනා සසර පුරා ඔබේ ගමනට බාදා ඇති කරන බැවින්, ඔබේ සසර ගමන දුකකට හරවා ගන්න ආකාරයේ ප්‍රාර්ථනාවන් සිදු නොකිරීමට බුද්ධිමත් වෙන්න. තව කෙනෙක් තම ජීවිතයට ඈදාගෙන සසර ප්‍රාර්ථනා නොකරන්න. එය සසරේ බොහෝ කල් දුක් විඳීමට හේතු වේ.




¤☸¤══════¤☸¤☸¤══════¤☸¤  

සීලයේ සහ පිනේ ආනිසංස


ඔබ උපදින තැන තීරණය වීමට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ සීලයයි. පින උපදින තැන සැපයේ උසස් බව තීරණය වීමට හේතුවෙනවා. මේ නිසා සම්බුද්ධ ශාසනයක කරන පින්කම් වලින් උසස් ප්‍රතිඵල ලබන්න පුළුවන්.


1. සිල් රැකීම

        පන් සිල්, අට සිල්, නවාංග උපෝසථ සීලය, දස සිල් රැකීම - සිල් රැකීම මාරක අපල දුරුවීමට පවා හේතු වේ.


       ඔබ එක සිල් පදයකින් හරි සිල් රකින්න පටන් ගන්න. කාලයත් එක්ක ඔබ බොහෝ සිල් රකින්නකු වෙනවා අනිවාර්යයි. එක දවසක් එක පැයක් හෝ සිල් රකින්න උත්සාහ කරන්න. ඒ උත්සාහය ඉතා වටිනවා. ඒ උත්සාහයම ඔබව සුගතියට රැගෙන යනවා.




2. පින් රැස් කිරීම

        සම්මාදිට්ඨිකව දාන ආදී විවිධ පින්කම් සිදු කිරීම






1. සීලයේ  ආනිසංස

    

    සුගතියේ උපතට හේතුවේ., මාරක දුරුවීමට හේතු වේ., සසර මතු දවසක නිවන පසක් කිරීමට හේතු වේ.



2. පිනේ  ආනිසංස


    පිනේ ආනිසංසය වැඩි කිරීමට සීලය හේතු වේ. මේ නිසා යමෙක් යමක් පූජා කරයිද ඒ සෑම අවස්ථාවක දීම සීලයක පිහිටා පූජා කිරීම ඉතා වැදගත්. එම පූජාවන් ලබන ප්‍රතිග්‍රාහකයා අනුව ද ආනිසංසය අඩු වැඩි වේ. මේ නිසා ඔබ නුවනින් යුතුව හැකි සෑම අවස්ථාවක දීම කුමක් පූජා කළ ද එය අග්‍ර ලෙසින් පූජා කිරීමට සැලකිළිමත් වෙන්න.


ඔබ සිදුකරන පූජාවන්ගේ ආනිසංස මේ තරම් අග්‍ර වීමට හේතුවනම් මහබෝසතානන් වහන්සේ පුරන ලද උතුම් වූ පාරමිතා බලයයි. එසේම උන්වහන්සේ අවබෝධකර දේශනාකරන ලද සද්ධර්මයයි.



ඔබට මතක ඇති පින්කමක් සිදුකරන සෑම අවස්ථාවකදීම සංඝයා වහන්සේලා අපට පන්සිල් දෙනවා. එසේ සිදුකරන්නේ අප සීලයක පිහිටා ඇතිවිට අප සිදුකරන පින්කමේ ආනිසංස මහත්ඵල මහානිසංස වෙන නිසා ය.


සීලයක් රැකීමේ දී එය සමාදන් වීම අනිවාර්යයි. සීලය සමාදන් නොවී රැකීමෙන් අපේක්ෂිත ප්‍රතිඵලය නොලැබේ. මේ නිසා තිසරණ සරණ ගොස් අනතුරුව සීලය සමාදන් වෙන්න. එසේ සමාදන්වෙන සීලය ඔබ විසින් රකින්නේ පැය එකක් ද දෙකක් ද, දවසක් ද දෙකක් ද එම ප්‍රමාණයට ඔබට ආනිසංස ගෙන දෙයි.


බොහෝ දෙනෙක්ට ඇති මාරක අපල ආදිය දුරුවීමට, ආයුෂ දීර්ඝ වීමට තිසරණයේ පිහිටා කල හැකි පින්කම් රාශියකි.




එසේම ඔබ සමාදන්වෙන සිල්පද කීයක්ද ඒ ප්‍රමාණයට ඊට අනුරූපව ආනිසංස ගෙන දෙයි. තිසරණය සමාදන් නොවී (සම්‍යදෘෂ්ඨික) නොවී රකින සීලයෙන් තිසරණය සමාදන් වී රකින සීලය තරම් මහත්ඵල මහානිසංස නොදෙයි.


මේ නිසා තිසරණයේ පිහිටා සීලයක් සමාදන් වී යම් පිනක්, පූජාවක් කරයිද එයින් ලැබෙන පිනේ ආනිසංසය ඉතා ඉහළයි.


බුදුරජානන්වහන්සේ ඇතුළු සංඝයා උදෙසා යම් දෙයක් පූජා කරයිද, යම් පිංකමක් කරයිද එයින් ලැබෙන ආනිසංසය අන් කිසිවකට සම නොවී අග්‍ර ලෙස මහානිසංස වෙයි.


තවදුරටත් ඒ අවස්ථාවේ දී ඔබ සමාදන් වී සිටින සීලය අනුව ද එහි ප්‍රතිඵල වැඩි වේ.


වර්ථමානයේ ජීවමානව නැතත් තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පුද සත්කාර සිදුකළ හැකි චෛත්‍ය තුන් වර්ගයකි.

1. ශාරීරික - චෛත්‍යය
2. පාරිභොගික - චෛත්‍යය
3. උද්දේසික - චෛත්‍යය

මෙම චෛත්‍ය වන්දනා කිරීම මහත්ඵල මහානිසංස ලැබිය හැකි පින්කමකි.


ධාතු පුරාණය




ඉතා සැළකිල්ලෙන් අසන්න




ඔබ සිදුකරන පිනත් ප්‍රාර්ථනාවත් උතුම් ලෙස ඉටුකර ගන්න ඔබ සතුව තිබිය යුතුම ගුණාංග කීපයකි.

1. තිසරණයේ පිහිටා සීලයක් සමාදන් වී පිංකම සිදු කරන්න.

2. පහදවාගත් ශ්‍රද්ධාවන්ත පහන් (සතුටු) සිතින් පිංකම කරන්න.

3. පිංකමේ දී ඉවසීම, උපේක්ෂාසහගත වීම පවත්වා ගන්න.

4. පිංකමේ දී කණගාටුවක්, පසුතැවිල්ලක්, කේන්තියක් ඇති නොකරගන්න.

5. පූජා කරන දේ සම්පූර්ණයෙන්ම හිතින් අත්හැර පූජා කරන්න.

6. පිංකමට පෙරත් පිංකමෙන් පසුත් ශ්‍රද්ධාව පවත්වා ගන්න.

7. ඔබ පූජා කරන ලද දේ ගැන නැවත නැවත සොයන්න එපා. ඒක ඔබට අයිති නෑ..

8. අනිත් අය කරන ලද පිංකම් ශ්‍රද්ධාවෙන් යුතුව පහන් සිතින් අනුමෝදන් වෙන්න. 

9. උපද්දවන හැම පිනකටම පසු ඔබේ ප්‍රාර්ථනාව සිහි කරන්න.

* නිතර ධර්ම දේශනා අසන පුරුද්ද ඇති කර ගන්න.



¤☸¤══════¤☸¤☸¤══════¤☸¤  

නිවැරදිව උතුම්ව ප්‍රාර්ථනාවන් කරමු

බුදුවරුන් ඇතුළුව සම්බුද්ධ ශාසනයක තනතුරු ලැබූ සැම කෙනෙක්ටම එම තනතුරු ලැබුණේ ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයක් ලෙසයි. ඒ ප්‍රාර්ථනාවන්ට හේතු වුනේ පෙර බුදුවරුන්ගේ ශාසනවල තවත් කෙනෙකුට ඒ තනතුරු ප්‍රදානය කරනවා දැකීමෙන් තම සිතට ද නැගුන සිතුවිල්ලක් නිසාවෙනි.


සම්බුද්ධත්වය සහ එම සෙසු තනතුරු ලැබීම සඳහා ඒ ඒ තනතුරු අනුව පාරමිතා ප්‍රමාණයන් සම්පූර්ණ කළ යුතු අතර ප්‍රාර්ථනාවක් යනු අරමුණක් කරා ගමන් කිරීමයි.


නිර්වානය සඳහා ද ප්‍රාර්ථනාවක්, අරමුනක් තිබිය යුතුයි. නිර්වාණය ලගා කර ගත හැක්කේ ද සම්බුද්ධ ශාසනයක දී පමණි.


මේ නිසා තිසරණය හා සම්බන්ධ කවර හෝ පූජනීය වස්තුවක් ශ්‍රද්ධාවෙන් වන්දනාකර ප්‍රාර්ථනාවක් සිදු කරයිද එය ඒකාන්ත වශයෙන් විපාක දෙනු ලබයි.


එවැනි පූජනීය වස්තුවකට යමක් පූජාකර ප්‍රාර්ථනාවක් සිදු කරයිද එය ද ඒකාන්ත වශයෙන් විපාක දෙනු ලබයි.


මතක තියාගන්න. යම් පිනක් නිසා ඔබ දෙව් ලොව ගියත්, ඔබේ පින තිබෙනතාක් එහි සැප විඳින්න හැකි වේවි. නමුත් එය අවසන් වූ විට ඔබට ආපසු දෙව් ලොවින් යන්න වේවි. එසේ යන්නේ මනුලොවට හෝ සතර අපායෙන් එක් තැනකට විය හැකියි.


එසේ නොවීමට නම් ඔබ නිතර නිතර පින් රැස් කළ යුතුයි. මේ නිසා නිවැරදි ප්‍රාර්ථනාවක උසස් අයුරින් පින් රැස් කිරීමේ ප්‍රාර්ථනාවන් ද තිබීම අනිවාර්යයි. එහෙම වුනොත් ඔබ නිවන් දකිනතුරා දිව්‍ය ලෝකවලම සැරිසරනු ඇත.




¤☸¤══════¤☸¤☸¤══════¤☸¤  



ඔබ සිදුකරන පිනත් ප්‍රාර්ථනාවත් උතුම් ලෙස ඉටුකර ගන්න

 




පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X