බුද්ධ ශාසනයක වැඩිපුරම නිර්වානය අවබෝධ කර ඇත්තේ දෙවිවරුන්ය. මේ නිසා දිව්‍ය සැප විඳින අතරතුර මාර්ගඵල ලබන්න ඔබටත් හැකියාව තිබේ. කෙනෙකුට තම සසර ගමන කෙබදු විය යුතුද යන්න සිතගි පරිදි සැලසුම් කර ක්‍රියාත්මක කර ගැනීමේ දුර්ලභ අවස්ථාවක් අද ඔබට ලැබී තිබේ.

මීට වඩා හොඳ තැනකට යන්න සසර සැලසුම් කරන්න.

මල් පූජාවේ ආනිසංස

 * මහත් භෝග සම්පත් ඇත්තෙකු වීම

* කාන්තිමත් ශරීර වර්ණයඇත්තෙක් වීම

* පහත් කුලවල නො ඉපිද උසස් කුලවල ම ඉපදීම
* කැමති කැමති යාන වාහන ලැබීම
* බොහෝ රූමත් ස්ත්රීන්, පුරෂයන් හා දැසි දස්සන් ලැබීම
* බොහෝ අගනා වස්ත්රාභරණයන්ට ලැබීම
* සෑම කල් හි අන් අය ගේ ගෞරවයට පාත්ර වීම
* උසස් කීර්තියක් ඇත්තෙක් වීම
* සෑම කල් හි බොහෝ පිරිවර ජනයා ඇත්තෙක් වීම
* තම පිරිස කිසිවෙකුට භේද කළ නො හැකි වීම
* ඥාතීන් අතර උසස් (උතුම්) ශ්රේෂ්ඨයෙකු වීම
* ශීත උෂ්ණ වලින් පීඩාවක් නොවීම
* කායික හා මානසික දාහ නැති උතුමෙක් වීම
👉 එක් පියුමක් ගෙන පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පුමුඛ මහා සංඝරත්නයට පූජාකළ පදුම හිමි-
පදුම හිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පුමුඛ මහා සංඝරත්නයට එක් පියුමක් ගෙන පූජා කළ පිනෙන්,
🔅 මල්පෙති ගණනට සක්විති රජව ඉපදුනා
🔅 හත්සිය වතාවක් පෘථුවි රාජ්ය කලා
🔅 අවසානයේ නිවන් සුව ලැබීමට ඒ පින හේතු වූ බව පෙන්වා ඇත.
~(අපදාන පාලි බු:ව: 193 පිට)~
👉 උපුල් මල් තුනක් විපස්සී බුදුරජුන්ට පූජාකළ තිඋප්පලමාලිය හිමි-
තිඋප්පලමාලිය හිමි පෙර භවයක විපස්සී බුදුරජුට උපුල් මල් තුනක් පුදා කළ පිනෙන්,
🔅 කල්ප අනූ එකක් දුගතියකට නො යන ලදී
🔅 මේ පිනෙන් තුන්සිය වතාවක් සක් දෙව් රජ වී ඉපදුනා
🔅 පන්සිය වතාවක් සක්විති රජ වුණා
🔅 අවසානයේ නිවන් දැකීමට ද මේ පින උපනිශ්රය වුණා. බලන්න සත්පුරුෂයෙනි, හැදුනු සිතකින් පින්කම් කිරීමේ අගය.
~(අපදාන පාලිය 342 අපදානය)~
👉 මානෙල් මල් සතක් සිඛී බුදුරජාණන් වහන්සේට පූජාකළ සත්තුප්පල මාලක තෙරණිය-
සත්තුප්පල මාලක තෙරණිය පෙර ජීවිතයක සිඛී බුදුරජාණන් වහන්සේට මානෙල් මල් සතක් එකඟ සිතින් නුවණ යොදා පිදූ පිනෙන්,
🔅 වාර හැත්තෑ හතක් දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳු ගේ බිරිඳ වී උපන්නා ය
🔅 ඒ මලේ පාට හා සුවඳ ඇයට හැම දිවියකදී ම ලැබුණු අතර අවසානයේ නිවනට ද මේ උතුම් පින උපනිශ්රය විය.
~(ථේරි අපදානය 8)~
👉 බෝලිද්ද මල් පූජාකළ තිණසුලක හිමි-
තිණසුලක හිමි පෙර භවයක තිස්ස බුදුරජාණන් වහන්සේට බෝලිද්ද මල් පුදා,
🔅 විසිපස් වතාවක් සක් දෙවිඳුව උපන්නා හ
🔅 හැත්තෑ පස් වතාවක් සක්විති රජව උපන්නා
අවසානයේ නිවන් සුවය ද ලබාගත්තා.
(413 වන අපදානය)
👉 කිණිහිරියා මල් තුනක් සුමේධ බුදු රජාණන් වහන්සේට පූජාකළ තිකණිකාර පුප්ථිය හිමි-
තිකණිකාර පුප්ථිය හිමි පෙර භවයක සුමේධ බුදු රජාණන් වහන්සේට කිණිහිරියා මල් තුනක් පැහැදුන සිතින් නුවණ යොදා පූජා කල පිනෙන්
🔅 තුන්සිය වතාවක් සක්විති රජවිය
🔅 පන්සිය වතාවක් සක් දෙව් තනතුර ද හැම ජීවිතයකදී ම පහත සදහන් විපාක ද ලැබුණා හ.
* මහත් භෝග සම්පත් ඇත්තෙකු වුණා.
* පහත් කුලවල නො ඉපිද උසස් කුලවල ම ඉපදුනා.
* කැමති කැමති යාන වාහන ලැබුණා.
* බොහෝ රූමත් ස්ත්රීන් හා දැසි දස්සන් ලැබුණා.
* බොහෝ අගනා වස්ත්රාභරණයන්ට ලාභී වුණා.
* සෑම කල් හි අන් අය ගේ ගෞරවයට පාත්ර වුණා.
* උසස් කීර්තියක් ඇත්තෙක් වුණා.
* සෑම කල් හි බොහෝ පිරිවර ජනයා ඇත්තෙක් වුණා.
* තම පිරිස කිසිවෙකුට භේද කළ නො හැකි වුණා.
* ඥාතීන් අතර උසස් (උතුම්) ශ්රේෂ්ඨයෙකු වුණා.
* ශීත උෂ්ණ වලින් පීඩාවක් නො වුණි.
* කායික හා මානසික දාහ නැති උතුමෙක් වුණා.
~(අපදාන පාලි: 501 වන අපදානය)~
අවසානයේ නිවන් සුව අවබෝධයට ද ඒ උතුම් පින උපනිශ්රය වුණා.
👉 බිම වැටී තිබූ මල් අටක් පූජාකර තව්තිසා දෙව්ලොව උපන් උපාසක පින්වතා (නාගවිමාන වස්තුව)-
මේ මහා භද්රකල්පයෙහි අප ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් ලොව පහළ වී වදාළා වූ කාශ්යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් පිහිටවා එකල විසූ සැදැහැවත්හු යොදුනක් උසැති ස්වර්ණ චෛත්යයක් කරවූහ. ඒ චෛත්යයය පිරිවර සහිත කිකී රජතුමා හා නුවර වැස්සෝ ද, දනව් වැස්සෝ ද දිනපතා බොහෝ මල් ගෙන ගොස් පුදන්නාහ. එබැවින් මල් දුර්ලභ විය. එක් දවසක් උපාසකයෙක් මල් සොයනු පිණිස මාලාකාර වීථියේ ඇවිද එක් කහවණුවකට එක බැගිනි දු මල් සොයා ගත නොහී කහවණු අටක් ද රැගෙන මල් වත්තකට ගියේය. ඔහු එහි ගොස් “මේ කහවණු අටට මල් අටක් හෝ දෙව” යි කීය. “මල් සියල්ල නෙලා දී දැන් අවසන්ය.” යි මල්කරු කීය. උපාසක තෙමේ “මල් ඉතිරි වී ඇත්නම් මම සොයා ගන්නෙමි” යි කීය. “එසේ නම් උයනෙහි ඇවිද සොයා ගන්න” යයි මල්කරු කීය. උපාසක උයනට පිවිස ඇවිදිනුයේ බිම වැටී තිබූ මල් අටක් ලැබ ඒවා මල්කරු වෙත ගෙනැවිත් දක්වා ඔහුට කහවණු අට ගන්නට කීය. “මේ මල් ලැබී ඇත්තේ ඔබ පිනෙන් ය. ඒනිසා මේවාට මම මුදලක් නො ගනිමි” යි මල්කරු කීය. “මම නොමිලයේ මල් ගෙන භාග්යවතුන් වහන්සේට නො පුදමි” යි කියා කහවණු අට ඔහු ඉදිරියේ තබා මල් ගෙන චෛත්ය කරා ගොස් පහන් සිතින් පිදුවේය. උපාසක ඒ පිනෙන්,
🔅 මරණින් මතු තව්තිසා දෙව්ලොව උපන, තුන්කෝටි සැටලක්ෂයක් අවුරුදු ආයුෂය ගෙවී ගිය පසු ඔහු චුතව නැවත එහිම උපන්නේ ය
🔅 මෙසේ නැවත නැවත දෙව්ලොවම උපන් ඔහු අප බුදුන් සමයෙහි ද එහිම විසුවේය.
දිනක් මුගලන් මහ තෙරුන් වහන්සේ දෙව්ලොව චාරිකාවෙහි හැසිරෙන සේක්. මහත් වූ ශ්වේතහස්තිරාජයකු පිට නැගී අප්සරා සමූහයා විසින් පිරිවරන ලදුව පුන්සඳ මෙන්, හිරුමෙන්, දිසාවන් ආලෝක කෙරෙමින් මහත් වූ දිව්යානුභාවයෙන් අහස් හි ගමන් කරන ඒ දෙවියා දැක ඔහු වෙත වැඩම කළහ. දෙව්පුත් තෙරුන් වහන්සේ දැක ඇතු පිටින් බැස උන්වහන්සේට වැඳ සිටියේ ය. එකල්හි තෙරුන් වහන්සේ ඔහු අමතා “තොප මේ මහා සම්පත්තිය ලදුයේ අතීතයෙහි කළ කිණම් කුශලයෙකින් දැ” යි විචාළ සේක. එකල්හි දෙව්පුත්,
“ අට්ඨෙව මුත්ත පුප්ඵානි කස්සපස්ස මහෙසිනො,
ථූපස්මිං අභිරොපෙසිං පසන්නො සෙහි පාණිහි,
තෙන මෙ තාදිසො වණ්ණෝ තෙන මෙ ඉධ මිජ්ඣති
උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.”
“හිමියනි, මම අතීතයේ කාශ්යප බුදුරජාණන් වහන්සේගේ ස්තූපයට නටුවෙන් ගිලිහී වැටුණ මල් අටක් පහන් සිතින් සියතින් පිදුවෙමි.
🔅 මාගේ කාන්තිමත් ශරීර වර්ණය ඒ පිනෙන් ඇතිවිය.
🔅 මාගේ මේ දිව්ය සම්පත්තිය ඒ පිනෙන් ඇතිවූවකි. 🔅 සිතට ප්රිය වූ අනල්ප දිව්ය භෝජනාදී වස්තුහු මට ඒ පිනෙන් පහළ වන්නාහ” යි කීය.
(විමානවත්ථු අටුවාවෙන්)
👉 ජීවිත පරිත්යාග කොට මල් පිදූ සුමන මල්කරු-
අප බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ රජගහ නුවර බිම්බිසාර රජතුමාට දිනපතා මල් සපයන සුමන නම් මිනිසෙක් විය. එක් සමයෙක් හි තථාගතයන් වහන්සේ පෙරවරු කාලයේ මහා භික්ෂු සංඝයා විසින් පිරිවරන ලදුව සවණක් ඝණ බුදුරැස් මාලාවන් විහිදුවමින් මහත් වූ බුද්ධානුභාවයෙන් බුද්ධ ලීලාවෙන් පිඬු පිණිස රජගහ නුවරට වන් සේක. රජුට සමන් මල් නැළියක් ගෙන යන්නා වූ සුමන මල් කරු ෂට්වර්ණ රශ්මි මාලාවෙන් හා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසූ අනුඛ්යඤ්ජනයෙන් ශෝභාවත් වූ රුවන් පහන් ගසක් වැනි තථාගතයන් වහන්සේ ගේ ශ්රී දෙහය දැක, අතිශය පහන් වූ සිත් ඇත්තේ කුමකින් තථාගතයන් වහන්සේට පූජාවක් කරන්නෙම්දෝ යි සිතනුයේ පූජා කිරීමට අන් දෙයක් නොදක්නේ රජුට ගෙන යන්නාවූ මේ මලින් තථාගතයන් වහන්සේ පුදමියි සිතා නැවත “දිනපතා රජුට ගෙන ගිය මේ මල් නො ගෙන ගියහොත් රජු කිපී මා සිර කරන්නට ද පිළිවන, එහෙත් කරන්නට දෙයක් නැත. රජු මට කරන දෙයක් කරාවා. මේවා රජුට ගෙන යාමෙන් ඔහු මට දෙතත් දෙන්නේ මේ ආත්ම භවයේ ජීවත් වීමට තරම් සුළු දෙයකි. මේ මලින් බුදුන් වහන්සේ පිදුවහොත් මට එය අනේක කල්ප කෝටීන්හි සැප ගෙන දෙන පිනක් වන්නේය. ඒ නිසා වන්නක් වේවා, මේ මල මම බුදුනට ම පුදමි” යි සිතා පළමුවෙන් මල් දෙමිටක් ගෙන තථාගතයන් වහන්සේ දෙසට විසි කළේය. ඒ මල් එකකුදු බිම නො වැටී තථාගතයන් වහන්සේ මතුයෙහි අහස් හි වියනක් මෙන් සැදී සිටියේය. එය දැක අතිශයින් පහන් වූ සුමන තවත් මල් දෙමිටක් ගෙන බුදුරදුන් දෙසට විසි කළේය. ඒ මල් බුදුරදුන් දකුණු පසින් තිරයක් මෙන් සෑදී අහස්හි සිටියේය. තවත් දෙමිටක් විසි කළේය. ඒවා තථාගතයන් වහන්සේ පිටිපසින් තිරයක් සේ සෑදී සිටියේය. තවත් දෙමිටක් විසි කළේය. ඒවා තථාගතයන් වහන්සේගේ වම් පසින් තිරයක් සේ සෑදී සිට ගත්තේය. බුදුරජාණන් වහන්සේ රිදීපටින් වසන ලද්දකු සේ ඉදිරියට වැඩම කළහ. මල් ද එකකුදු නොවැටී තථාගතයන් වහන්සේ අනුව ගියේය. තථාගත ශරීරයෙන් නික්ම උන්වහන්සේ වටා තුන්යලක් ගමන් කොට ඉදිරියට දුවන්නා වූ බුදුරැස් දහරාවන් නිසා ඒ මල් වඩාත් ශෝභාවත් විය. ඒ ප්රාතිහාර්ය දැක සතුටට පත් ජනයා ඔල්වරසන් නගමින් සළු උඩ දමමින් සළු හිස වට කරකවමින් බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් ගමන් ගත්හ. තථාගතයන් වහන්සේ ද මල්කරුගේ ගුණය ප්රසිද්ධ වනු පිණිස නගරයේ ප්රධාන මාර්ගයේම ගමන් කළහ. මල් කරුගේ සකල ශරීරය පස්වනක් ප්රීතියෙන් පිරී ඉතිරී ගියේය. ඔහු මඳ දුරක් තථාගතයන් වහන්සේ හා ගමන් කොට මනෝසිලා රසයෙහි ගැලෙන්නාක් මෙන් බුදුරැස් තුළට වැද උන්වහන්සේට ස්තුති කොට වැඳ හිස් පැස ගෙන ගෙදර ගියේය.
ඔහු හිස් පැස ගෙන ගෙදර ගිය කල්හි භාර්යාව “මල් වලට කුමක් කළෙහිදැ” යි ඇසීය. “තථාගතයන් වහන්සේට පිදුවෙමි” යි මල්කරු කීය. “දැන් රජුට කුමක් කරන්නෙහිදැ” යි භාර්යාව ඇසූ කල්හි “රජු මට කරන දඬුවමක් කෙරේවා යි ජීවිත පරිත්යාග කොට මම මල් පිදුවෙමි” යි කියා සිදු වූ සියළු ප්රාතිහාර්යද ඇයට කීය. අනුවණ ගැහැණියට ඒ ප්රාතිහාර්ය ගැන සිත පහදා ගත නො හැකි විය. ඈ බිය වී සැමියාටද බැණ වැදී “රජවරු නපුරෝ ය. කිපුණු කල්හි අත්පා සිඳවීම් ආදී මහානර්ථ කරන්නාහ. නුඹ කළ දෙයින් මට ද විපත් සිදුවිය හැකිය” යි කියා දරුවන් ද ගෙන රජු වෙත ගොස් “දේවයන් වහන්ස, මගේ සැමියා නුඹ වහන්සේට ගෙනෙන මල් බුදුරදුන් පුදා හිස් පැස ගෙන ගෙදර ආයේය. මා විසින් මල් වලට කුමක් කළෙහිදැ යි ඇසු කල්හි ඒ බව මට කීයේය. ඔහු කළ වරදින් මටත් විපතක් වේදෝ යි මම ඔහු හැර දරුවන් ද ගෙන නුඹ වහන්සේ වෙත පැමිණියෙමි. දේවයන් වහන්ස, ඔහු කළ දෙය යහපතක් ද, නපුරක් ද කියා මම නොදනිමි. එය කුමක් වුවත් එය ගැන මගේ සම්බන්ධයක් නැත. මම ඔහු අත්හැර දැමීමි” යි කීවාය. රජතුමා බුදුරදුන්ගේ ප්රථම දර්ශනයේදීම සෝවාන් ඵලයට පැමිණි ආර්ය ශ්රාවකයෙකි. එතුමා අනුවණ ගැහැණියට මෙතරම් මහත් ප්රාතිහාර්යයකදී ද සිත පහදා ගත හැකි නොවී යයි සිතා, කිපුණු ආකාරයක් දක්වා “කිමෙක්ද මට ගෙනා මල් තිගේ සැමියා බුදුනට පිදුවේ දැ” යි ඇසීය. “එසේය, දේවයන් වහන්ස” යි පිළිතුරු දුන්නීය. එකල්හි රජතුමා “ඒ මිනිසා හැර දැමීමන් තී කළ දෙය ඉතා යහපති. මාගේ මල් පූජා කළහුට කළ යුත්ත මම දනිමි” යි කියා ඇය පිටත් කර හැර වහා ගොස් ඒ ප්රාතිහාර්යය නරඹමින් තථාගතයන් වහන්සේ සමග ම ගමන් කළේය. ශාස්තෘන් වහන්සේ රජුගේ ප්රසාදය දැක අණබෙර හසුරුවන වීථියෙහි ම ගමන් කොට රජගෙදර සමීපයට පැමිණි සේක. රජතුමා පාත්රය ගෙන තථාගතයන් වහන්සේ රජමැදුරට වඩමවා ගන්නට සිතුවේය. තථාගතයන් වහන්සේ රජ මිදුලෙහිම වැඩ හිඳිනු කැමති ආකාරය දැක්වූහ. රජතුමා ලෝකනාථයන් වහන්සේ ගේ අදහස දැන වහ වහා එහි මණ්ඩපයක් කරවීය. භාග්යවතුන් වහන්සේ භික්ෂු සංඝයා හා එහි වැඩහුන් සේක. තථාගතයන් වහන්සේ රජගෙට නො වැඩ එළිමහනෙහිම වැඩ සිටියේ මල්කරුගේ ගුණය මහජනයා අතර වඩාත් ප්රකට වනු පිණිස ය. රජතුමා බුදුන් ප්රමුඛ මහා සංඝයාට දන් දිණ. තථාගතයන් වහන්සේ වළඳා අවසානයේ අනුමෙවෙනි බණ වදාරා පළමු පරිදි ම මල් වියන් මල් තිර තිබියදී ම මහ පෙරහරින් මහජනයා සමඟ ම වෙහෙරට වැඩම කළ සේක. උන්වහන්සේ ගඳ කිළියට පිවිසෙන කල්හි ඒ මල් ගඳකිළිය දොරකඩ වැටිණ.
රජතුමා මඳ දුරක් තථාගතයන් වහන්සේ හා ගමන් කොට නැවතී මල්කරුවා ගෙන්වා “නුඹ මට ගෙනෙන මල් කුමක් සිතා බුදුනට පිදුවෙහිදැ” යි ඇසීය. “එකෙණෙහි මට ඇති වූ බලවත් චිත්තප්රසාදය නිසා රජ්ජුරුවන් වහන්සේ මා මරතොත් මරත්වා රටින් නෙරපතොත් නෙරපත්වා යි ජීවිතය පරිත්යාග කොට ඒ මල් පිදුවෙමි” යි මල්කරු කීය. රජතුමා ඔහුගේ ක්රියාව ගැන පැහැදී “නුඹ මහා පුරුෂයෙකැ” යි ඔහුට පසසා
ඇතුන් අටදෙනෙකුන් ද
අසුන් අටදෙනෙකුන් ද
දාශයන් අටදෙනෙකුන් ද
දාශියන් අටදෙනෙකුන් ද
මහාර්ඝ පළඳනා ද
කහවනු අටදහසක් ද
සර්වාලංකාරයෙන් සැරසූ කාන්තාවන් අට දෙනෙකුන් ද
ගම් අටක් ද යන මේ සියල්ල ඔහුට ප්රදානය කළේය. සියල්ලෙන් අට බැගින් ඇති බැවින් සර්වාෂ්ටක නම් වූ ඒ පරිත්යාගය මල්කරු ඒ පූජාවෙන් එදින ම ලැබූ අනුසස ය.
ආනන්ද ස්ථවිරයන් වහන්සේ “සුමන මල්කරුගේ පූජාව නිමිත්තෙන් අද උදෑසන පටන්ම මහා ප්රීති ඝෝෂාවක් පවත්නේ ය. ඔහුට ඉන් ලැබෙන්නාවූ විපාකය කුමක් දෝයි තථාගතයන් වහන්සේගෙන් අසමි.” යි සිතා උන්වහන්සේ වෙත එළඹ “මල්කරුට ඒ පූජාවෙන් වන විපාක කවරේද” යි ඇසූහ. “ආනන්දය, මේ මල්කරු විසින් කරන ලද්ද සුළු කොට නො සිතව. හෙතෙමේ මා හට දිවි පුදා ඒ පූජාව කළේය. හෙතෙමේ මා කෙරෙහි ඇති කරගත් ඒ චිත්තප්රසාදයෙන්,
🔅 කල්ප ලක්ෂයක් දුර්ගතියකට නො පැමිණෙත්ය. 🔅 එතෙක් කල් ඔහු දෙව් මිනිස් සැප විඳ අන්තිමේදී සුමන නම් පසේ බුදු වන්නේය” යි තථාගතයන් වහන්සේ වදාළ සේක.
(මේ කථාව දම්පියා අටුවාවෙන් ගන්නා ලදී)
〽️ඔබත් තුන්සිත පහදවාගෙන එදිනෙදා ජීවිතයේදී බුදුපියාණන්වහන්සේට බුද්ධ පූජාවන් පවත්වන්න.
බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිනවා සිතාම සියලුම පූජාවන් පවත්වන්න. එය මහත්ඵලයි මහානිංසය
🙏🙏🙏
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X