පහන් දල්වන්නේ ඇයි?
“පහන්” සිතින් “පහන්” දැල්වීම ඉතාම බලවත් පුණ්‍යකර්මයකි. පන්සලට, පල්ලියට, කෝවිලට ගොස් පහනක් දැල්වීම අපගේ පුරුද්දකි. මේ අප දල්වන “පහන” පිළිබඳ විමසීමේදී අප හමුවේ බොහෝ කරුණු විමසා බැලිය යුතු දිගු කතාවකි. ඒවා අවබෝධයේ පහසුව පිණිස විමසා බලන්න කරුණු පෙළ ගස්වා ගනිමු.
2. පහන් දල්වන්නේ කාටද?
3. පහන් වර්ග මොනවාද?
4. පහන් දැල්වීමට යොදා ගන්නා තෙල් වර්ග මොනවාද?
5. පහන් දැල්වීමේ ආනිශංස මොනවාද?
6. හැම පහනකින්ම අරමුණ ඉටුවේද
මේ කරුණු අනුව මුලින්ම
* පහන් දල්වන්නේ ඇයිද? යන්න විමසමු
ඕනෑම අයකුගෙන් පහනක් දල්වන්නේ ඇයි? කියා විමසා බැලුවහොත් ඉතාම සරල පිළිතුරක් ඇත. එනම් “ආලෝකය” ලබාදීම සඳහාය යන්නයි. එය ඔබේ පිළිතුර නම් එය වැරැදියි. පහනක් දැල්වීමෙන් ඊට වඩා පුළුල් අරුතක් බලාපොරොත්තු වේ. “අලෝක පූජාව“ සඳහා බොහෝ දෙනා පහන් දැල්වුවද පහන් දැල්වීම නිසා ආලෝකය ලැබීම පමණක් නොව ඊට වඩා බොහෝ අරමුණු අප තුළ තැන්පත්ව ඇත. එනම් පහන් දල්වන්නේ “නිරෝගී සුවය” ප්‍රාර්ථනා කරමිනි. එසේම පහන් දැල්වීමේදී ආලෝකය සමඟ “ශක්තියද” ජනනය වේ. තාපය සහ ශක්ති ප්‍රභවයන් පහන තුළ ජනනය වේ.
මෙහිදී අප පහන් දැල්වීමෙන් පතන “ආලෝකය” කුමන ආකාරයේ එකක්ද? රෝගියකු ඒ පහන දල්වන්නේ නිරෝගී සුවය පතාය. ව්‍යාපාරිකයකු පහන දල්වන්නේ ව්‍යාපාරයේ දියුණුව උදෙසාය. පාසල් සිසුවකු පහන දල්වන්නේ “අධ්‍යාපනය නමැති ආලෝකය” ලබා ගැනීමටය. බැතිමතකු පහන දල්වන්නේ මරණින් මතු ජීවිතයට ආලෝකයක් පතාය. මියගිය අය සඳහා පහන් දල්වන්නේ ඔවුන්ගේ ජීවිතවලට ආලෝකයක් ලබාදීමටය. මෙසේ පහන් දැල්වීමේ අරමුණු විවිධය. බෝසත් තවුසා බුදු බව ලැබූ මොහොතේ “අලෝකෝ උදපාදී” යනාදී ලෙස මට ඥානය නමැති ආලෝකය පහළ වූ බව පැවැසූ බව සඳහන් වේ. රෑ අඳුර වැටෙන විට දල්වන පහනින් අඳුර නසන ආලෝකයත්, බුද්ධිය නමැති පහනින් ප්‍රඥාව නමැති ආලෝකයත් පහළ වේ.
එසේම යම් කිසිවකු මියගිය විට ඒ මෘත දේහය දෙපස “පහන්” දල්වන්නේ ඊට ආලෝකය ලබා දෙන්න නොව ඒ අවට ඇති විස බීජ නසා දැමීමටය. සිදුවිය යුත්තේ දෙපා අසල සහ හිස අසල පොල් තෙල් පහන් දෙකක් දැල්වීමය. ඉන් ඒ අවට ඇති විස බීජ විනාශ වීම සිදුවේ.
පහන් දැල්වීම බුදුන්වහන්සේට, දෙවියන්ට පමණක් නොව යක්ෂ, භූත, පිසාච, කුම්භාණ්ඩයන්ට සහ මියගිය ඥාතීන්ටද සිදුකෙරේ. බුදු කුටිය තුළ දැල්වෙන්නේ බුදු පහනය. දෙවියන් සඳහා දේවාලයේදී හෝ දේව රූපය ඉදිරියේ පහන් දල්වමු. නිවාසවල හෝ ව්‍යාපාර ස්ථානවල ඇති භූමි දෝෂ ඉවත් කිරීමට ඔවුන් සඳහා පහන් දල්වමු. මියගිය ඇත්තන් වෙනුවෙන් ඔවුන්ට පින් පිණිස සොහොන් කොත් අවට පහන් දල්වමු. එසේම උත්සව අවස්ථාවල අමුත්තන්ට ගරු කිරීම සඳහා පහන් දල්වති. වෙසක් නත්තල් වෙනුවෙන්ද වෙසක් පහන්, නත්තල් පහන් දල්වමු.
* පහන් දල්වන්නේ කාටද?
මේ ගැන ඉහතින් සාකච්ඡා කෙරුණද නැවත මඳක් විමසමු. බුදුන්වහන්සේ වෙනුවෙන් දල්වන පහන බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය වෙනුවෙන්මය. එසේම බුද්ධ ශාසනයේ කොතෙක් මහ රහතන්වහන්සේ සිටියද “සීවලී මහ රහතන්” වහන්සේ වෙනුවෙන් පහන් දැල්වීම සිදුවේ. එසේම “තිස් තුන් කෝටියක්” දෙවිවරු සිටියද අප තෝරාගත් දෙවිවරුන් කිහිප දෙනකු වෙනුවෙන් පහන් දල්වමු. ඉන් අපේ ලග්නයට අනුව හෝ මහ දසාවට අනුව අපේ පිහිට පතා තෝරාගත් දෙවියකු හමුවේ දල්වන පහන විශේෂයි.
එසේම බොහෝ දෙනා ධන සම්පත් පතා ලක්ෂ්මි මෑණියන්ටද, අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට ගණ දෙවියන්ට සහ සරස්වතී මෑණියන්ටද පහන් දල්වති. එසේම “ගුරු දිනයේදී” පාසලේ ගුරුවරුන් වෙනුවෙනුත්, රණවිරු දිනය, නිදහස් දිනය ආදියේදී ඒ සඳහාත් පහන් දල්වති. ඒ අනුව පහන් දල්වන්නේ කාටද? මෙන්ම අරමුණුද අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වේ. බුදුන්වහන්සේට පූජා කරන පහන් බුදුන්වහන්සේගේ, ශ්‍රී නාමයෙන් බුදුන්වහන්සේ පිටදුන් බෝධියට. බුදුන්වහන්සේගේ සර්වඥ ධාතූන්වහන්සේ නිධන් කොට ඇති චෛත්‍ය රාජයා මැද පහන් දල්වති. ඒ අනුව බෝධි පූජාවේදීද පහන් දල්වති.
එසේම පන්සලේදී පමණක් නොව බුදුන්වහන්සේටත්, දෙවිවරුන්ටත් නිවෙසේදී පහන් දල්වමු. නිවෙසේදී බුදුන්වහන්සේ වෙනුවෙන් පහන් දැල්වීම නොව දෙවිවරුන් උදෙසා පහන් දැල්වීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් ඇත. බෞද්ධයන් ලෙස අප නිවෙසේ කුමන දෙවියන්ට පහන් දැල්වුවද ඒ සැමට පෙර බුදුන්වහන්සේ වෙනුවෙන් පහනක් දැල්වීම අනිවාර්ය වේ. බුදුන්වහන්සේට පහන් නොදල්වා අනෙක් දෙවිවරුන්ට පහන් නොදල්වන්න. එසේම ලක්ෂ්මී මෑණියන්ට, ගණ දෙවියන්ට, සරස්වතී දේවියට කතරගම දෙවියන්ට, විෂ්ණු දෙවියන්ට සමන් දෙවියන්ට නිවෙස ඇතුළත පහන් දැල් වුවද කාලි මෑණියන්ට කඩවර දෙවියන්ට පත්තිනි මෑණියන්ට නිවෙසේ ඇතුළත පහන් නොදල්වන්න.
* පහන් දැල්විය යුත්තේ කුමන දිශාවටද
අප බුදුන්වහන්සේගේ සහ අනෙක් දෙවිවරුන්ගේ ප්‍රතිමා හෝ පින්තූර තැබිය යුත්තේ නිවෙසේ උතුර, ඊශාන හෝ නැඟෙනහිර දිශාවේය. අප වන්දනා කළ යුත්තේ ඉහත කී දිශා බලාගෙනය. එනිසා පහන් දැල්වීමද උතුර, නැඟෙනහිර හෝ ඊශාන දිශාභිමුඛව සිදු කළ යුතුය.
එසේම ආරක්ෂක හෝ ඉෂ්ට කර්ම ආදියේදී පහන් දැල්වීමේදී ඒ ඒ දෙවියන්ට අදාළව පහන් දැල්වේ. එසේම නිවෙසේ ආරක්ෂාවේදී නිවෙසේ සෑම ෙදාරක් සහ ජනේලයක් පාමුල පහන් දැල්විය යුතුය. ඒ අතර යක්ෂ, භූත, පිසාචයන් සඳහා පහන් දල්වන්නේ නැත. ඒ වෙනුවට පන්දම හෙවත් විලක්කු දැල්වේ. පිරිත් මණ්ඩපය සතර කොන සහ ෙදාරටුව දෙපස පහන් දැල්වේ. දැරියක වැඩිවියට පත් වූ අවස්ථාවේ ඇය ස්නානය කර නිවෙසට පැමිණෙන අවස්ථාවේදීද පහනක් දැල්විය යුතුය. මළ ගෙදරක් සිදුවූ විට ඒ මෘත දේහය නිවෙසින් ගෙන යන තුරු මෘත දේහය දෙපස පහන් දැල්විය යුතුය.
* පහන් වර්ග මොනවාද
පොදුවේ “පහන්” දැල්වීම ලෙස පැවැසුවද මේ දල්වන පහන් වර්ග රාශියකි. බොහෝ සිද්ධස්ථානවල පහන් රාශියක් දැල්වීමට පහසු වන ලෙස “පහන් වැට” ඉදිකර ඇත. එසේම ශ්‍රී පාදය, කිරිවෙහෙර, රුවන්වැලි සෑය ආදී බොහෝ ස්ථානවල අවුරුද්ද පුරා නොනිමෙන “ෙදාළොස්මහේ” පහන ඇත. එසේම මෙසේ දල්වන පහන් මැටි පහන්, පිත්තල පහන් වෙනත් ලෝහවලින් සැදූ පහන් ශෛලමය පහන් (ගල් පහන්) මෙන්ම අෑත අතීතයේදී භාවිත කළා. දැනුදු ග්‍රාමීය ප්‍රදේශවල පිරිත් පින්කම් සඳහා භාවිත කරන විශේෂ පහන් වර්ගයක් ඇත. එනම් ගස්ලබු ගෙඩිය දෙකට කපා ඇට ඉවත් කර පොල්තෙල් දමා පහන් දැල්වීමය. මේවා ඉතාම සුවඳවත්ය. එසේම අතීතයේ මලකැට පහන් වර්ගයක් විය.
ඒ කැකුණ මද තළා රෙදි කැබලි සමඟ මුසුකොට තනාගන්නා පහන් විශේෂයකි. මේවා බොහෝ වේලා දැල්වෙන අතර ඉතාම සුවඳය. මදුරුවන් පලවාහරී. වර්තමානයේ පහසුවෙන් දැල්වෙන්නේ විදුලි පහන්ය. මේ පිත්තල පහන් ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුය. කිරිවවුල, පමුණුව, ගඩොලාදෙණිය මේ පිත්තල පහන් සෑදීමට ප්‍රසිද්ධය.අඟල් දෙකක් පමණ සිට අඩි හය හතක් උස පිත්තල පහන් නිර්මාණය කෙරේ.
එසේම තනි පහනේ සිට පහන් එකසිය අටක් (108) පමණ දැල්විය හැකි සුවිශාල පහන් ඇත. මේ පහන් උස ප්‍රමාණය ගැනද විවිධ මත ඇත. උත්සවයකදී හෝ නිවෙසකදී (බොහෝ නිවෙස්වල අලංකාරය හා ගෞරවය සඳහා තබාගෙන ඇත) මේ පහන් ගෘහ මූලිකයාගේ උසට වඩා උසින් අඩුවිය යුතුය. ඒ අතරම පහනේ මුදුනේ ඇති කුකුළු රූපය ගැනද අදහස් පවතී. හඬලන කුකුළු රුව සහිත පහන් සුබදායක වුවත් මුඛය වසාගෙන සිටින කුකුළු රුව සහිත පහන් අසුබ බවත් සැලකේ.
* පහන් දැල්වීමට ගන්නා තෙල් වර්ග
බුදුන් වහන්සේ වෙනුවෙන් දල්වන පහන් සඳහා පොල්තෙල් යොදා ගන්නා අතර සුවිශේෂී අවස්ථාවල තැඹිලි තෙල් යොදා ගනී. එහෙත් දෙවියන් උදෙසා දල්වන පහන් සඳහා යොදා ගන්නා තෙල් වර්ග වෙනස් වේ. ගණ දෙවියන් හා සරස්වතී මෑණියන්ට දල්වන පහන් සඳහා එළඟිතෙල් යොදාගනී. විෂ්ණු දෙවියන්ටද එළඟිතෙල් යොදාගන්නා අතර ලක්ෂ්මි මෑණියන්ට දල්වන පහන් සඳහා පස්තෙල් යොදා ගනී. ශිව දෙවියන්ට අබතෙල් විශේෂ වන අතර කතරගම සහ සමන් දෙවියන් සඳහා යොදා ගන්නේ පොල්තෙල්ය. මෙහිදී මතක් කළ යුතු දෙයක් ඇත. මේ කිසිදු අවස්ථාවක ඉටිපහන් යොදා නොගන්නා බවය. එසේම නූතන වාණිජ්‍ය ලෝකයේ දකිනට ඇති දෙයක් නම් බොහෝ ආගමික ස්ථාන අසල එළඟිතෙල් පහන් විකිණීමට ඇත. ඒත් අප විමසිලිමත් විය යුතුය. පොල්තෙල්, එළඟිතෙල් ආදිය හිරු එළියේදී උණුසුම් වී දියවීමත් මැටි පහන්වලට උරාගන්නාසුලු බවත්ය. එහෙත් මේ අලෙවියට තබා ඇති පහන්වල තෙල් කුමන උණුසුමකදීවත් උණු වී නැත. ඒ නිසා ඒවායෙ ඇත්තේ එළඟිතෙල් නොව පැරපින් නමැති ඉටි වර්ගයයි. වර්ණ කොට පහන් තුළට දමා කාලයක් තබාගෙන ඇත. ඉටිපහන් බුදුකුටිය, දේව රූපය ඉදිරියේ නොදල්වන්නේ නම් මේ ව්‍යාජ එළඟිතෙල් පහන්ද දැල්වීමේදී ඔබ බුද්ධිමත් වනු අතැයි සිතමි.
ප්‍රඥාව ලැබීමට හේතු වීම
හොද ඇස් ලැබීමට හේතු වීම
දිවැස් ලැබීමට හේතු වීම
පතන බෝධියකින් නිවන් දැකීමට හේතු විම
ඍධිමය හැකියා පහළ වීම
ධ්‍යානයන් හා විදර්ශනා ඥානය ලැබීමට හේතු වීම
ඇස් රෝග නොවැලදීම
දිබ්බ චක්කු,දිබ්බ සෝත,පරචිත්ත විජානන,පුබ්බේ නිවාසානුස්සති ඥානයන් ලැබීමට හේතු වීම
ශිල්ප ශාස්ත්‍ර වහා අවබෝධ වීම
* පහන් දැල්වීමේ නිවැරැදි ක්‍රමය
පහන් දල්වන විට පළමුව පහන පිරිසුදු කරගත යුතුය. එසේම අලුත් පහන් තිරයක් දැමිය යුතුය. මෙය විහාරස්ථානවලදී ප්‍රායෝගිකව කිරීමට අපහසුය. ඒ බොහෝ දෙනා එක් අවස්ථාවකට පහන්වලට තෙල් දමන නිසාය. ඒත් නිවෙසේදී හෝ හැකි සෑම විටම පහන දල්වන්නට පෙර එහි ඇති පැරැණි අඟුරු, දැලි ආදිය ඉවත් කර පිරිසුදු කරන්න. එසේම අලුත් තිරයක් දමන්න. ඇතැම් විට මේ දමන තිරයද පරණ පාවිච්චි කරන ලද රෙදි කඩකින් සකසා ගන්නා අවස්ථා ඇත. එය නුසුදුසුය. අලුත් රෙදි කැබැල්ලකින් තිරය තනාගන්න. අද වෙළෙඳපොළේ පහන් තිර ඕනෑ තරම් ඇත.
එසේම අද දල්වන පහනේ දැල්ල බුදුන් වහන්සේගේ දිශාවට යොමුවිය යුතුය. අප පහන දල්වා පූජා කරන්නේ බුදුන් වහන්සේට හෝ දෙවියන්ටය. බුලත් හුරුල්ලක් පිළිගන්වන ආකාරයෙන් පහන් දැල්ල බුදුන් වහන්සේ හෝ දෙවියන්ගේ දෙසට යොමු කරමු.
අඳුරට ශාප නොකර එක පහනක් හෝ දල්වමු. බාරහාර වන අවස්ථාවල පහන් හතක්, නවයක්, තුනක්, එකසිය අටක් ලෙස පොරොන්දු වෙමු. බුදුන් වහන්සේට පූජා කරන පහන් සංඛ්‍යාවක් නැතත් දෙවියන් උදෙසා මෙසේ ඔත්තේ සංඛ්‍යාවක් පුදන්නට පෙලැඹී ඇත.
පහන් පිදීමෙහි අනුසස් පවසන අනුරුද්ධ ථෙරාපදානය
පසුගියදා අපගේ සාකච්ඡාවට බඳුන් වූයේ ගෞතම බුදු සසුනෙහි පළමුවෙන්ම ධර්මය අවබෝධ කරගත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහත් ථෙර ආපදානය යි. අද අප විමසා බලන්නේ ගෞතම බුදු සසුනෙහි දිවැස් ලාභීන් අතර අගතැන්පත් අනුරුද්ධ මහ රහතන් වහන්සේගේ චරිතාපදානය යි. සුමේධ සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේ උපන් මෙතුමන් පැහැදුණු සිතින් යුක්තව ඒ සම්බුදුරජාණන් වහන්සේට පහනක් පුදා ඇත.ගෞතම බුදු සසුනෙහි දිවැස් ලාභීන් අතර අගතැන් ලැබීමට හේතු වී ඇත්තේ එම කුශලය යි.මෙතැන් සිට අනුරුද්ධ ථෙර චරිතාපදානය විමසා බලමු.
“මම ලෝකයට ජ්‍යෙෂ්ඨ වූ සියලු මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූ ලෝකයාට නායක වු විවේකීව වැඩ වාසය කරන්නා වූ සුමේධ නම් වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දුටුවෙමි. මම එසේ විවේකීව වැඩ සිටියා වු භාග්‍යවත් සුමේධ බුදුපියාණන් වහන්සේ වෙත එළඹ දොහොත් මුදුන් දී වැඳ මෙසේ ඇයැදියෙමි. මහා වීරයන් වහන්ස,ලෝක නායකයාණන් වහන්ස, නර ශ්‍රේෂ්ඨයන් වහන්ස, රුක් මුල්හි ධ්‍යාන කරන්නා වූ ඔබ වහන්සේට මම පහනක් පුදමි. සියල්ල තමන් වහන්සේම අවබෝධකොට ගත්තාවු වාදින් අතුරින් ශ්‍රේෂ්ඨ වූ ඒ බුදුරජාණන් වහන්සේ මාගේ පහන් පූජාව ඉවසූහ. එයින් සතුටට පත් වූ මම යන්ත්‍රයක් යොදා ගස්, පොතු වලින් සකසා ගත් පහන් වැටි සියයක් පිදුවෙමි. මා විසින් පුදන ලද ඒ පහන් නො නිවී සතියක් එක දිගට දැල්වී ය.
එයින් අකමැති වූ සිතේ සතුටින්ද සිත්හි වූ ප්‍රාර්ථනයෙන්ද මම මිනිස් සිරුර අතහැර දෙවි විමනක ඉපදුනෙමි. දෙව්ලොව උපන් මට මැනවින් නිර්මිත වූ විමානයක් විය. එය හාත්පසින් දිලිසෙයි. ඒ පහන් පූජාවේ අනුසස් ය. එකල්හි මාගේ හාත්පස යොදුන් සියයක් බබළයි. සියලු දෙවියන් අභිභවා සිටියෙමි. ඒ පහන් පූජාවේ අනුසස් ය. දෙව්ලොව අධිපති වූ සක්දෙවි රජව කල්ප තිහක් දිව්‍ය රාජ්‍ය කළෙමි. ඒ කාලය තුළ කිසිවෙක් මා ඉක්මවා නොගියහ. හෙවත් මට අවසන් නොකළහ. මේ පහන් පූජාවේ අනුසස්ය. මම විසි අට වරක් සක්විති රජ වුණෙමි. එකල්හි හාත්පස යොදුනක් තැන් දිවා රෑ දෙකම එකලෙස ආලෝකයෙන් දුටුවෙමි. ඒ පහන් පූජාවේ අනුසස් ය.”
“ඤාණය නමැති ඇසින් මා දසදහසක් සක්වළ (ලෝක) දකිමි, ගෞතම සර්වඥ ශාසනයෙහි පැවිදිව දිවැස ලැබූවෙමි. ඒ පහන් පූජාවේ අනුසස් ය. මෙයින් කල්ප තිස් දහසකට පෙර සුමේධ නම් සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ විය. ඒ භාග්‍යවතුන් වහන්සේට මම පැහැදුණු සිතින් පහනක් පිදුවෙමි. එහි අනුසස් මම විසින් පෙර සඳහන් කරන ලද පරිදි බොහෝ සෙයින් වින්දෙමි. අවසන් අත්බවෙහි ගෞතම බුදු සසුනෙහි ඉපිද මහණව දිවැස් ලැබුවෙමි.”
“මා විසින් ක්ලේශයෝ දවන ලද්දාහුය. සියලු භවයන් නසන ලදිමි. හස්ති රාජයෙකු මෙන් බැඳුම් සිඳ ආශ්‍රව රහිතව වාසය කරමි. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීම යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ ලැබුවෙමි. මේ සිව්පිළිසිඹියාවෝද අෂ්ටවීමෝක්ෂයෝද ෂඩ්අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදිමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉටු කරන ලදිමි “
පඤ්චදීපිකා භික්ෂුණීන් වහන්සේ,
කල්ප ල්ක්ෂයකට පෙර අතීතයේ එක් කපෙක හංසවතී නගරයේ ආරාමයෙන් ආරාමයට වන්දනාවේ ඇවිදින කාන්තාවක් වූවාය. ඕ එක් මාසේපෝය දිනයක එක් බෝධිවුක්ෂයක් වෙතට පැමිණ එහි සිත පහදා බෝධිමූලයෙහි හිදගත්තාය. ඕ ඉතා ගෞරවයෙන් දොහොත් මුදුනේ තබා බෝරුකට වැදගෙන මහත් සොම්නසින් “ඉදින් බුදුරජානන් වහන්සේ අනන්ත ගුණ ඇති සේක නම්, අසම අප්‍රතිපුද්ගල වූ සේක් නම්, මේ බෝධින් වහන්සේ ප්‍රාතිහරයයක් දක්වන සේක්වා, මේ බෝධීන් වහන්සේ දිලිසෙත්වා” යි සිතූවාය.
එකෙණෙහිම බෝරුක දිලිසුණි. සියලු බෝරුක ස්වර්ණ වර්ණ විය. සෑම තැනම ආලෝකය පැතිරිණි. ඒ ප්‍රාතිහාර්යයෙන් අතිශයින් සොම්නසට පත් ඕ තොමෝ සතියක්ම බෝරුක මුල විසුවාය. සත්වන දින රාත්‍රීයෙහි පූජාසනය මත පහන් පසක් දැල්වූවාය. ඒ පහන් පසුදින හිර උදාවන තෙක් ම දැල්විණ.
පසු කාළයේ ඕ කළු්‍රිය කොට තව්තිසා දෙව්ලොව උපන්නාය. ඈට එහි සැටයොදුන් උස තිස්යොදුන් පළල පඤ්චදීපිකා නම් විමානයක් පහළ විය. එහි ගනනක් නැති පහන් දැල්වෙන්නේය. ඇයට දක්නට කැමති උඩ යට සරසා ඇති සියල්ල ඇසට පෙනෙන්නේය.
ඒ පිනෙන් ඕ අසූවරක දෙව් රදුන්ගේ බිසව වූවාය. සියවරෙක සක්විති රජුන්ගේ මෙහෙසිය වූවාය. උපනුපන් සෑම තැනම ඇය පිණිස දහස් ගණන් පහන් දැල්විණි. ඕ මෙසේ දෙව්මිනිස් දෙගතියෙහි කල්ප ලක්ෂයක් සම්පත් විද අන්තිම ජාතියේ අප බුදුරජානන් වහන්සේගේ සස්නෙහි පැවිදිව සත් අවුරුදු වියෙහිම සව් කෙලෙසුන් නසා රහත් වූවාය. සත් හවුරුදු වියෙහිම ඕ උපසම්පදාවද ලැබුවාය. ඇය වසන සෑම තැනම ඇය උදෙසා පහන් පසක් දැල්විණ.
සතයහස්සිතො කප්පෙ යං දිපමදදිං තදා,
දුග්ගතිං නාභිජානාමි පඤ්චදීපානිදං ඵලං.
මේ පඤ්චදීපිකා ස්ථවිරියගේ ප්රකාශනයකි.
මෙයින් කල්ප ලක්ෂයකට පෙර ඒ කාලයේ මම යම් ප්‍රදීප දානයක් දුන්නෙම්ද එතැන් පටන් මේ වනතුරු දුර්ගතියට නොපැමිණියෙමි, මේ ප්‍රදීප පස පිදීමේ අනුසසය යනු එහි තෙරුමය.
පහන් පූජාවට අනුරාධපුරයේ දී විවිධ තෙල් වර්ග ලබා ගැනීම සඳහා