බුද්ධ ශාසනයක වැඩිපුරම නිර්වානය අවබෝධ කර ඇත්තේ දෙවිවරුන්ය. මේ නිසා දිව්‍ය සැප විඳින අතරතුර මාර්ගඵල ලබන්න ඔබටත් හැකියාව තිබේ. කෙනෙකුට තම සසර ගමන කෙබදු විය යුතුද යන්න සිතගි පරිදි සැලසුම් කර ක්‍රියාත්මක කර ගැනීමේ දුර්ලභ අවස්ථාවක් අද ඔබට ලැබී තිබේ.

මීට වඩා හොඳ තැනකට යන්න සසර සැලසුම් කරන්න.

🍁 කඨින චීවර දානය

 කඨින චීවර දානය යනු විශේෂ චීවර දානයෙකි. එය පෙර වස් වසා පවාරණය කළ භික්ෂූන්ට වර්ෂයකට එක් වරක් පමණක් දිය හැකි දානයෙකි. වප් මස අව පෑළවිය දිනයේ පටන් ඉල් මස පුර පසළොස්වක දිනය දක්වා ඇති මසක් වූ කාලය කඨිනය දිය හැකි කාලය ය. ඒ කාලයට චීවර මාසය යි ද කියනු ලැබේ. කඨින චීවරය ලැබීම නිසා පස් මගක් ගත වන තුරු භික්ෂූන් වහන්සේලාට විනය ප්තිපත්ති පසක් පිළිබඳව විශේෂ පහසුකම් ඇතිවන බැවින් ඒ චීවරය භික්ෂූන්ට විශේෂයෙන් ප්රයෝජනවත් චීවරයකි. අන් සිවුරු දහසක් ලැබීමෙනුදු භික්ෂූන් වහන්සේට ඒ පහසුකම් වලින් එකකුදු නො ලැබේ. එබැවින් කඨිනය දෙන දායකයන්ට ද අන් සිවුරු පිදීමෙන් ලැබෙන කුශලයට වඩා අනුසස් ඇති කුශලයක් ලැබේ. එය එක්තරා ගරු පුණ්යකර්මයකි.

කඨින දිය යුත්තේ මෙසේ ය: ඇසළ මස අව පෑළවිය දිනයෙහි පෙර වස් එළඹ වප් මස පුර පසළොස්වක පොහෝ දිනයෙහි පවාරණය කළා වූ භික්ෂූන් වහන්සේලා ඇති ස්ථානයකට චීවර මාසය තුළ දී තුන් සිවුරෙන් එක් සිවුරකට ප්මාණය වන අලුත් වස්ත්යක් සිවුරු කිරීමට වුවමනා ඉදිකටු නූල් පඬු ආදි උපකරණත් සමග සිවුරු කරන භික්ෂූන්ට ආහාර පානාදියත් ගෙන ගොස් ඉතා උදෑසන එය සංඝයාට පූජා කළ යුතු ය. උදෑසන ම පූජා කළ යුත්තේ ඒ වස්ත්රයෙන් එදින ම සිවුරක් කර ගත යුතු බැවිනි. කපා මසා පඬු පොවා අවසන් කළ සිවුරක් ද කඨින චීවරය වශයෙන් පිදිය හැකිය. වැඩ නිම වූ සිවුරකින් කඨිනය පුද කරත හොත් කවර වේලාවක වුව ද පූජා කළාට වරදක් නැත.
පරිවාර පරිෂ්කාරයන්ගෙන් යුක්ත කිරීමෙන් කඨින දානය කැමති පමණට මහා දානයක් කර ගත හැකි ය. කලාතුරකින් කරන්නට ලැබෙන මේ පින්කම හැකි තාක් මහත් කොට කිරීම බෞද්ධයන්ගේ සිරිතය. කඨින චීවරයට පරිවාර පරිෂ්කාර වශයෙන් තවත් සිවුරු ද, ආහාර පාන හා බෙහෙත් වර්ග ද, ඇඳ පුටු මේස ආදි දැව භාණ්ඩ ද, ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට ද, පිඟන් කෝප්ප සැලි ආදි මැටි බඳුන් ද, කුඩා සැළි, කළ, කල්දේරම් ආදි තඹ පිත්තල බඩු ද, කැති පොරෝ මන්නා පිහියා උදලු ආදි යකඩ බඩු ද, ඉදල් මුසුන් වට්ටි පෙට්ටි පෙරහන්කඩ ආදිය ද විහාරස්ථානවලට හා භික්ෂූන් වහන්සේලාට ප්රයෝජනවත් තවත් නොයෙක් දේ ද එක්කොට පිදිය හැකිය.
එක් අයෙකු පිදූ කඨින වස්ත්ය කපා මසා පඬු පොවා කඨිනස්ථාර විනය කර්මය කරන්නට මත්තෙන් අනෙකෙක් තවත් බොහෝ පරිවාර වස්ත්රාදිය සමග කඨින වස්ත්යක් ගෙන ආවහොත් සංඝයා විසින් එය ද පිළිගත යුතු බව -
“සචේ තස්මිං අනත්ථතෙ එව අඤ්ඤො කඨින සාටකං ආහරති. අඤ්ඤානි ච බහූනි කඨිනානිසංස වත්ථානි දෙති. යො ආනිසංසං බහුං දෙති. තස්ස සන්තකෙන අත්ථරිතබ්බං ඉතරො තථා තථා ඔවදිත්වා සඤ්ඤාපෙතබ්බො” යනුවෙන් විනයෙහි දක්වා තිබේ.
🌼 භික්ෂුන්ට ලැබෙන අනුසස් 🌼
කඨිනය අතුළ භික්ෂූන්ට ඒ ගරු විනය කර්මය නිසා බුද්ධාඥාව පරිදි ආනිසංස පහක් ලැබේ. එයට කඨිනානිසංසයැ යි කියනු ලැබේ. කඨිනය පූජා කරන දායකයනට ලැබෙන විපාකයනට ද කඨිනානිසංස යැ යි ව්යවහාර කරනු ලැබේ. එබැවින් කඨිනානිසංසය එය ලබන භික්ෂූන්ට මෙන් ම පිරිනමන දායකයනට ද එක සේ මහත් අනුසස් ලැබන පින් කමෙකි. කඨිනයකින් භික්ෂූන්ට ලැබෙ පඤ්චානිසංසය විනයෙහි මහාවග්ග පාළියේ කඨිනක්ඛන්ධකයේ මෙසේ සඳහන් වෙයි. 1. අනාමන්තචාරය 2. අසමාදානචාරය 3. ගණ භොජනය 4. යාවදත්ථ චීවරය 5. යොවතත්ථ චීවරුප්පාදය යන මේ කරුණු ස ය.
1. අනාමත්තචාරය
පාචිත්තිය පාළියෙහි අවෙලක වර්ගයේ සවන ශික්ෂා පදයෙන් කඨිනෝද්ධාරය නො වන තාක් නො විචාරා යාමෙන් සිදුවන පචිති ඇවතින් නිදහස ලැබීම යි. ආරාමයන් හි වෙසෙන භික්ෂුව පිටත ගෙවල්වලට යනවිට ආරාමයෙහි සිටින භික්ෂුවකට දන්වා යා යුතු ය. එසේ නෙ දන්වා යාමෙන් ඒ භික්ෂුවට පචිති ඇවතක් සිදු වේ. එහෙත් කඨිනය අතුළ භික්ෂූන්ට එය සිදු නො වේ. කඨිනය ඇතිරීහෙන් පසු කඨිනෝද්ධාරය නො වනතාක් නො විචාර කුලවල හැසිරීමට නිදහස ඇත.
2. අසමාදානචාරය
තිචීවර විප්පවාස නිසඟි පචිතියෙන් සිදුවන ඇවැතින් කඨිනය අතුළ භික්ෂූන්ට සීමිත කාලය තුළ නිදහස ලැබීම අසමාදානචාරය යි. අධිෂ්ඨාන කරගෙන තුන් සිවුරු පාවිච්චි කරන භික්ෂුවට තුන් සිවුරෙන් වෙන් ව රාත්රි ඉක්වීමෙන් නිසඟි වේ. එහෙත් කඨිනය අතුළ භික්ෂූන්ට නියමිත කාලය තුළ තමන් කැමැති සිවුරකින් වෙන් ව විසීමට නිදහස ලැබී ඇත.
3. ගණ භෝජනය
ගණ භෝජනය වැළඳීමෙන් වන පචිති ඇවතින් කඨිනය අතුළ භික්ෂූන්ට නියමිත කාලය තුළ නිදහස ඇත. ගණ භෝජනය නම්, “අපට බත් දෙව” ආදී වශයෙන් භික්ෂූන් ගේ වාග් විඥප්තියෙන් හෝ “අප ගේ බත් ගනුව” ආදී වශයෙන් දායකයන් ගේ ආරාධනයෙන් හෝ මෙසේ දෙපක්ෂයේ ම අකැප ව්යවහාරයෙන් උපන් බත සතර නමක් හෝ එයින් වැඩි පිරිසක් හෝ එක් ව වැළඳීම යි. ගණ භෝජනය නිමන්ත්රණයෙන් හා වාග් විඥප්තියෙන් යන දෙ අයුරින් ම සිදු වෙයි. එහෙත් කඨිනය අතුළ භික්ෂූන්ට ඒ නියමිත කාලය තුළ ගණ භෝජනය පිළිගෙන වැළඳිය හැකි ය. ඇවැතින් නිදහස ලැබේ.
4. යාවදත්ථ චීවරය
නො ඉටා නො විකපා කැමැති තාක් සිවුරු පරිභෝග කිරීමට කඨිනය අතුළ භික්ෂූන්ට නියමිත කාලය තුළ හැකි ය. නිසඟි පචිතිවල එන ප්රථම සිකපදයෙන් නිදහස ලැබේ. යම් භික්ෂූවක් දස දිනකට වඩා කල් අතිරේක චීවර තබා ගනී නම් ඒ භික්ෂුවට නිසඟි පචිති ඇවැතක් සිදු වෙයි. එහෙත් කඨිනය අතුළ භික්ෂුනට කඨිනෝද්ධාරය නො වන තාක් අධිෂ්ඨාන විකල්පනය නො කළ සිවුරු දැරිය හැකි ය.
5. යොවතත්ථචීවරුප්පාදය
කඨිනාස්තරණය තුළ ආරාමයෙහි සාංඝික වශයෙන් හෝ මතක වස්ත්ර වශයෙන් හෝ සැදැහැවතුන් විසින් සඟ සතු කොට පුදන ලද සිවුරු පිරිකරාදිය කඨිනානිසංස කාලය තුළ ඒ සියල්ල කඨිනය අතුළ භික්ෂූන් හට අයත් වේ. හේමන්ත ඍතුවේ කෙළවර වූ මැදින් පුර පසළොස්වක් දිනය දක්වා ඇති පස් මස කඨිනානිසංස කාලය වශයෙන් සලකනු ලැබේ. අපලෝකනය නො කොට ගැනීමෙන් සිදුවන දුකුළා ඇවැතින් කඨිනය අතුළ භික්ෂූන්ට නිදහස තිබේ.
වස්සාන ඍතුවේ අවසාන මානය කඨිනත්ථාර කාලය වශයෙන් සලකනු ලැබේ. වප් මස අව පෑළවියෙහි පටන් ඉල්මස පුර පසළොස්වක දක්වා ඇති එකුන් තිස් දිනය කඨිනාස්තරණ කාලය යි. කඨිනය අතුළ භික්ෂූන්ට කඨිනාස්තරණ විනය කර්මයේ බලය එනම්, පඤ්චානිසංසය කඨිනය අතුළ දිනයේ පටන් හේමන්ත ඍතුවේ අවසාන දිනය වූ මැදින් පුර පසළොස්වක් පොහෝ දිනය දක්වා පවත්නේ ය. කඨිනය අතුළ භික්ෂූන්ටත් එය අනුමෝදන් වූ භික්ෂූන්ටත් වප් මස අව පෑළවියෙහි පටන් මැදින් මස පුනු පොහෝ දිනය දක්වා ඇති පස් මාසය තුළ මෙකී පඤ්චානිසංසය ලැබේ.
🌸🌼🌸 දායකයනට ලැබෙන අනුසස් 🌸🌼🌸
කඨිනය පූජා කරන දායකයනට ද ලෞකික ලෝකෝත්තර උභය සම්පත්තිය ම ලබා ගත හැකි ය. නාගිතාපදානය දෙස විමසන විට එහි අනුසස් කොතරම් ද යනු සිතා ගත හැකි ය. නාගිත එක් අත් බවෙක කඨිනයක් පූජා කොට ඒ ශ්රෙෂ්ඨ කුසලය අශ්රවක්ෂයකරඥානයට (අර්හත්මාර්ග ඥාණයට) උපනිඃශ්රය වේවා යි ප්රාර්ථනා කෙළේ ය. එවක් පටන් ඒ පිනින් සිවු අපායේ නො ඉපිද සදෙව් ලොව සහ මිනිස් ලොව යන සත් වැදෑරුම් කාම ලෝකයන් හි දිව්ය මනුෂ්ය සම්පත් විඳ අවසානයේ ඒහි භික්ෂූ භාවයෙන් පැවිදි ව සිවු පිළිසිඹියාපත් මහරහත් බවට නාගිත හිමියෝ පැමිණියහ. උවසු උවැසියන් කඨින පින්කම් වලට විශේෂ සැලකිල්ලක් හා ගෞරයක් දක්වන්නේ මෙබඳු ආනිසංසයන් ලැබෙන නිසා ය. කඨින චීවරය පරිභෝග කරන භික්ෂුවට ලැබෙන ආනිසංස බස කඨිනයේ බලය නැති වූ අවස්ථාවේ නැති වී යාම භික්ෂූන් වහන්සේට පාඩුවක් වුවත් කඨිනය පූජා කළ දායක පක්ෂයට ලැබෙන ආනිසංසයනට එයින් කිසිඳු හානියක් සිදු නොවේ.
🌼🌼 නාගිත චරිතාපදානය 🌼🌼
බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන කල්හි නාගිත නම් කුමරුවෙක් වැඩි වියට පැමිණ තමා විසින් පෙර අත් බවෙක පුදන ලද කඨින දානමය කුශල කර්මයෙන් මෙහෙයවනු ලැබ ඥාති මිත්රයන් සමග බුදුරදුන් වෙත අවුත් බුදුන් වැඳ දහම් අසා තෙරුවන් සරණ ගොස් ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වූයේ ය. නොබෝ කළකින් සිවු පිළිසිඹියා පත් මහරහත් බවට පත් විය. බුදුහු නාගිත රහත් හිමියන්ගේ විශේෂ කුශල කර්මය උන් වහන්සේ ලවා ම ප්රකාශ කරනු කැමැති ව වස් වසා අවසානයෙහි පවාරණය කොට අනඳ හිමියන් කැඳවා මෙසේ වදාළ හ. “ආනන්දය! අද අනවතප්ත විල් තෙරට ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වූ පන්සියයක් රහතන් වහන්සේ රැස් කරව යි වදාළහ. අනඳ හිමියෝ බුදුරදුන් ගේ නියමය ඉටු කළහ. අනවතප්තවිල රහතන් වහන්සේලා ගේ කහවතින් බැබළුණි. අනතුරුව බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ පිරිවරා වැඩහුන් මහා සංඝයා දෙස බලා මෙසේ වදාළ හ. “මහණෙනි, තොප අතුරෙන් පෙර ජාතියක බුදු පසේ බුදු මහරහතන් වහන්සේ උදෙසා විශේෂ කුශල කර්මයක් සිදු කළ භික්ෂුවක් සිටී නම් ඒ බව මෙහි දී ප්රකාශ කරව”යි වදාළ හ. එය ඇසූ ඒ පිරිසෙහි වැඩ සිටි නාගිත රහත් හිමියෝ බුදුරදුන් වෙත අවුත් වැඳ දොහොත් මුදුන් තබාගෙන තමන් විසින් සිදු කළ විශේෂ කුශලය බුදුන්ට මෙසේ විස්තර කළ හ.
“ස්වාමීනි! භාග්යවතුන් වහන්ස! මම මෙයට කල්ප අනූ එකකට පෙර විපස්සී බුදුරදුන් ගේ කාලයෙහි බන්ධුමතී නුවර එක් කෙළෙඹි පුත්රයෙකු ව ඉපදීමි. දානපතියකු වූ මම දුගී මගී යාචකාදීන් විෂයයෙහි බොහෝ දානවස්තු පරිතයාග කෙළෙමි. අටවක් තුදුස්වක් පසළොස්වක් පොහෝ දිනවල පෙහෙවස් රැකීමි. එසේ ම පාටිහාරිය පක්ඛ උපෝසථය සමාදන් ව විසුවෙමි. (පටිහාරිය පක්ඛ උපෝසථය නම්, භික්ෂු සංඝයා වස් එළඹෙන තෙමස ඇතුළත අධිෂ්ඨාන කොට සමාදන් ව රක්නා අෂ්ටාංග ශීලය යි. එසේ තෙමස ම නො හැකි නම් පෙරවස් පවාරණය හා පසුවස් පවාරණය දක්වා ඇති මාසය තුළ අධිෂ්ඨාන කොට රක්නා අෂ්ටාංග ශීලය යි. එසේ නො හැකි නම් පෙරවස් පවාරණයේ සිට පසළොස් දිනක් අධිෂ්ඨාන කොට රක්නා අෂ්ටාංග ශීලය යි.)
දිනක් බන්ධුමතී නුවර රජු ඇතුළු මහ පිරිස් හට දහම් දෙසන විපස්සී සම්බුදුරජාණන් ගෙන් බණ අසා පැහැදී බුදු පාමොක් මහ සඟනට මහ දන් දුනිමි. පසු ව සංඝයාට ආරාධනා කොට වස් වසවා ගෙන සිවු මස මුළුල්ලෙහි සිවු පසයෙන් උවටැන් කෙළෙමි. අවසනා වස් විසූ භික්ෂූන් හට බොහෝ පරිෂ්කාර ඇති ව කඨින චීවර දානයපිරිනමා එයින් ලැබෙන කුශලය අශ්රවක්ෂයකර ඥානය පිණිස උපනිඃශ්රය වේවා’යි පැතීමි. එතැන් සිට කඨින චීවර දානමය කුශලයෙන් සිවු අපායෙන් මිදී සදෙව් ලොව හා මිනිස් ලොව ඉපිද අනේක විධ දිව්ය මනුෂ්ය සම්පත් විඳුන ලද අයුරු මෙසේ ප්රකාශ කළ හ.
“කඨින දානං දත්වාන - සංඝෙ ගුණ වරුත්තමෙ
ඉතො තිසෙ මහාකප්පෙ - නාභිජානාමි දුග්ගතිං”
උතුම් ගුණ ඇති මහා සංඝයා වහන්සේ විෂයයෙහි කඨින චීවර දානයක් පූජා කොට මහා කල්ප තිසක් දුගතියක් නොම දනිමි. මේ කඨින දානයෙහි අනුසස යි.
“අට්ඨාරසන්නං කප්පානං - දෙව ලොකෙ රමාමහං
චතුත්තංසක්ඛන්තුං දෙවින්දො - දෙවරජ්ජමකාරයිං”
අටලොස් කල්පයක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් ලවා වාසය කෙළෙමි. තිස් හතර වාරයක් සක් දෙව් රජ ව ඉපිද දිව්ය රාජ්යය කෙළෙමි. මේ කඨින දානයෙහි අනුසස යි.
“ආරපථෙ ආරපථෙ - චක්කවත්තිස්සීරිං ලභෙ
අසිතිංච චතුක්ඛන්තුං - චක්කවත්ති අභොසභං”
එක ඉඳිකටු ඇස්සකට සූතිස් වාරයක් බැගින් සක්විති රජ වන්නෙට හේතු සම්පත් ඇත ද, සසර එපමණ බොහෝ කලක් නො සිටි හෙයින් සුවාසූ වාරයක් චක්රවර්ති රාජ්ය සම්පත් ලැබීමි.
“යත්ථ යත්ථූපපජ්ජාමි - ලභිත්වා සබ්බසම්පදං
පුරිසානං උත්තමො භොමි - කඨිනදානස්සිදං ඵලං”
උපනූපන් හැම තන්හි සියලු සම්පත් ලැබ උතුම් පුරුෂයෙක් වූයෙමි. මේ කඨින දානයෙහි අනුසස යි.
“ද්වෙ භවෙ උපපජ්ජාමි - ද්වො පිච මානුසො
අඤ්ඤං ගතිංන ජානාමි - කඨිනදානස්සිදං ඵලං”
දිව්ය ගතිය මනුෂ්ය ගතිය යන මේ දෙගතිය හැර අනික් නරකාදී දුගතියක නූපන්නෙමි. මේ කඨින දානයෙහි අනුසස යි.
“චෙ කුලෙ උපපජ්ජාමි - ඛත්තියෙ චාපි බ්රාහ්මණෙ
හීනෙ කුලෙ න ජානාමි - කඨිනදානස්සිදං ඵලං”
ක්ෂත්රිය බ්රාහ්මණ යන දෙකුලය හැර එයින් පහත් කුලයක නූපන්නෙමි. මේ කඨින දානයෙහි අනුසස යි.
“චක්කවාළ මුපාදාය - මහිං සාගර කුණ්ඩලං
ඛොම දුස්සෙහි ඡාදෙය්යං - කඨිනදානස්සිදං ඵලං”
චතුස්සාගර පර්ය්යන්ත වූ චක්රවාට පර්වතර ඇතුළත මුළු පොළොව සුදු පට පිළියෙන් වසන්නට පොහොසත් වීමි. මේ කඨින දානයෙහි අනුසස යි.
“අහො බුද්ධො අහො ධම්මො - අහො සංඝස්ස සම්පදා
පරිත්තදානං දත්වාන - ලද්ධං මෙ විපුලං සුඛං”
බුද්ධ ධම්ම සංඝ යන තුණුරුවන් ගේ අර්හත්වය, නෛර්ය්යානිකත්වය, දක්ෂිණාර්හත්වය ආදී ගුණ විශේෂය ආශ්චර්ය්යය. මවිසින් එක් කඨින චීවරයක් දුන් විපාකයෙන් මේ සා මහත් සම්පත් ලබන ලද්දේ ය.
“තෙනෙව කුසල කම්මෙන - පියොහං දෙව මානුසෙ
තස්සෙව භද්ද කම්මස්ස - පත්තොස්මි අමතං පදං”
එම කඨින චීවර දානමය කුශල චේතනාව හේතු කොටගෙන දෙව්ලොව උපන් කල්හි දෙවියන්ට ද මිනිස් ලොව උපන් කල්හි මිනිසුන්ට ද ප්රිය මනාප පුද්ගලයෙක් වූයෙමි. ඒ යහපත් කුශල කර්මයෙන් නිවනට ද පැමිණියෙමි.
“එවං නාගව්හයො ථෙරො - මජ්ඣෙ සංඝස්ස සොභනො
පකාසෙයි සකං කම්මං - අනොතත්ත මහාසරෙ”
මෙසේ සඟ මැද හොබනා වූ ශාන්ත වූ ගුණ ඇති නාගිත ස්ථවිරයන් වහන්සේ අනොතත්ත මහවිල්හි දී තමන් වහන්සේ විසින් පෙර කරන ලද කඨින චීවර දාන සංඛ්යාත කුශල කර්මයා ගේ ඉෂ්ට විපාක විශේෂය ප්රකාශ කළ සේක.
(කඨින වංසය ඇසුරිනි)
( පොහොය වර්ණනාව - අතිපූජනීය රේරුකානේ චන්දවිමල නාහිමි..)
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X